සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙල 2011
වලල සෙල වේ
වසර ගණනාවක් පාසල් මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ ආධිපත්‍යය දරා සිටි වලල ඒ රත්නායකය ට මෙවර බාලක බාලිකා දෙ’අංශයෙන්ම සූරතා අහිමි කළ මීගමුව මාරිස්ටෙල්ලා සහ රත්නපුර සුමනා බාලිකා විද්‍යාල පිළිවෙලින් බාලක බාලිකා සූරතා ද්විත්වය දිනා ගන්නා ලදී.වලල ඒ රත්නායකයට බාලක අංශයෙන් අනු සූරතාවත් බාලිකා අංශයෙන් තෙවන ස්ථානයත් දිනා ගනිමින් වසර ගණනක් පුරා තමන් දරා සිටි කිරුළු වෙනත් පිරිසක් විසින් හිස දරා යනු බලා සිටින්නට සිදුවිය.
පුරා දින හතරක් පුරා පැවති මෙම ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ මිලාන් මධුෂ්ක දිසානායකත් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පාපැදි සූරයෙකු සහ සූරියක වන ජීඑච් හෙන්ඩර්සන්ගේ සහ පීඑල් රංජනීගේ දියණිය වන නදීශා හෙන්ඩර්සන් විසින් දිනා ගැනීමත් කැපී පෙණින.
දක්ෂතම ක්‍රීඩා පුහුණුකරු සම්මානනීය වීම
මෙවර ක්‍රීඩා උළෙලට ඇතුළත් වූ සුවිශේෂී අංගයක් විය.පාසල් මට්ටමේ පුහුණුකරුවන් ට කුඩම්මාගේ සැළකිලි ලැබෙන යුගයක මෙවැනි ක්‍රමවේදයක් ක්‍රීඩා උළෙල තුළින් හෝ ඇති කිරීම අගය කළ යුතුය.නමුත් ඉන් නොනැවතී ජාතික තලයේ ඇති අවස්ථාවන් පාසල් පුහුණුකරුවන් ට අහිමි කිරීම පිළිබදව මැදිහත් වීම මෙන්ම ඉන් එහාට ඉහළ දැණුම වර්ධනය කර ගැනීමට ඇති මාර්ග හදුන්වා දීම සහ ඒ සදහා රාජකාරිමය වශයෙන් ඇති විය හැකි බාධා ඉවත් කර දීම කෙරෙහිද පාසල් ක්‍රීඩා බලධාරීන් ගේ අවධානය යොමු විය යුතුය.
පළමු වරට හිමි වූ මෙම සම්මානය පාසල් ක්‍රීඩා පිටියේ අනන්ත කැපකිරීම් කරන පුහුණකරුවන් වන හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ජයලාල් රත්නසූරියටත් කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ඒඩී නන්දාවතීට ත් හිමි විය.වර්ථමානයේ ශ්‍රී ලංකාවේ උස පැනීමේ ඉසව්වේ අංක දෙකට සිටින සහ මෙවර පාසල් ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා වූ මිලාන් මධුෂ්ක දිසානායක ගේ පුහුණුකරු මෙන්ම වර්ථමානයේ මීටර් 110 කඩුළු පැනීම ඉසව්වේ දක්ෂතම ක්‍රීඩකයා වන කේඩබ් රන්දිව් ගේ ද පුහුණකරු වන්නේ ජයලාල් ය.ශෂීප්‍රභා ජයසිංහ,අමාලි හර්ෂණී විජේසිංහ සහ පබසරා සේනානනායක වැනි පාසල් ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවන් වූ ක්‍රීඩිකාවන් නිර්මාණය කළා වූ ද මෙවර යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ රිදී පදක්කම්ලාභිණියක වූ ද ශිවන්තිකා කුමාරි රත්නායක ගේ පුහුණුකාරිය නන්දාවතී ය.
ඒ නිසා මෙම පුහුණුකරු සහ පුහුණුකාරිය ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා කේෂ්ත්‍රයේ පෙරමුණේම සිටින බව අවිවාදිතය.නමුත් මෙම උළෙලේ ඔවුන් දෙදෙනා නම් කිරීම සදහා ගන්නා ලද නිර්නායකයන් කවරේද යන්න විමසා බැලීමේ දී ගැටළුකාරී තත්ත්වයක් පැන නගින්නේය.
නන්දාවතී ඒ සම්මානය සදහා සුදුසු වූයේ යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරග දක්ෂතා පදකම් කර ගෙන නම් දක්ෂතම පුහුණකරු වන්නට තිබුණේ රණබිම රාජකීය විද්‍යාලයේ ලක්ෂ්මන් හපුආරචිචිය.මන් ද යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේම අවසාන තරගය නියෝජනය කල ලක්ෂ්මන් යටතේ පුහුණුව ලබන මෙම ක්‍රීඩා උළෙලේ අවුරුදු 19 න් පහළ මීටර් 110 ඉසව්වේ අවුරුදු 19 ක් පැරණි වාර්තාව දෙවරක්ම බිද හෙළු සුපුන් විරාජ් රන්දෙණිය දැක් වු දක්ෂතාවයට ය.ඔහු එහි දී පෑ තත්පර 14.06 ක දක්ෂතාවය මේ වසරේ මෙරට කණිෂ්ඨ මලල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක පෑ ඉහළම දස්කම බව ජගත් මලල ක්‍රීඩා ඉසව් සදහා ලකුණු ලබදෙන ආකාරය සටහන් කර තිබෙන සටහන් පත්‍රයෙන් සනාථ කර ගත හැකිය.
එසේ නොවන්නේ නම් උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා නිර්මාණය කළ ජයලාල් ට සහ උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව නිරිමාණය කළ සුනිල් ගුණවර්ධන ඒ සදහා සුදුසුකම් ලබන්නට තිබිණ.නමුත් මේ තත්ත්වය ඇති විය හැක්කේ වසරක් පුරා පැවති තරග වල සියළු දත්ත එක් රැස් කිරීමට අධයාපන අමාත්‍යංශයේ ඒ වගකීම පවරා ඇති නිලධාරියාට හෝ නිලධාරිනියට නොහැකි වීමෙන් විය හැකිය.ඒ නිසා එම සංකල්පයේ ඇති වැදගත්කමට ගරු කරන අතරේ එවැනි ගෞරවනීය කාර්යයක් නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය දත්ත එක් රැස් නොකිරීමෙන් කිරි බදුනට ගොම එක් කල අයට ඒ සම්බන්ධයෙන් අවවාදයක් හෝ කිරීම වටින්නේ ය.
එසේම මේ තත්ත්වය ඉදිරියේ දී වැඩි දියුණු කිරීම වැදගත් ය.කුසලානය දිනා ගෙන මල් මාලා දමා ගන්නට පෙර රටේ ක්‍රීඩාවේ උන්නතිය ගැන සිතන ක්‍රීඩා පුහුණුකරුවන් පිළිබදව සිතීමට මේ කාලය ය.ඒ නිසා විද්‍යාලවල සූරතා කුසලාන වලට මුල් තැන දීමට වඩා අඩුම ගණනේ ජගත් මලල ක්‍රීඩා ලකුණු සටහනේ ලකුණු 1000 ක් ලැබිය හැකි ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක තනන පුහුනුකරුට විශේෂ ඇගයීමක් ලබා දීම වැදගත් ය.ඒ ඇගයීම ඔහු ගේ වෘත්තීය කටයුතු වලට ආලෝකයක් එකතු වන පරිදි පෞද්ගලික ලිපිගොනුවට බරක් එකතු කරන ලියවිල්ලක් කිරීමට ප්‍රායෝගිකව ක්‍රීඩා පිටියේ දුක්ඛ දෝමනස්ස විද ඇති අධ්‍යක්ෂවරයෙකු වන රෝහණ කරුණාරත්නට හැකියාව ඇත්නම් ඔහුට විශ්‍රාමික දිවියේ දී නිරන්තරයෙන් සිය නම ආඩම්බරයෙන් රැදී තිබෙන අයුරු සැනසීමෙන් බලා සිටින්නට හැකියාව ලැබෙනු නිසැක ය.
වලල ට මොක ද වුණේ?
මෙරට පාසල් මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂීම පාසල වලල ඒ රත්නායක බව විවාදයක් නැත.එය අගනුවර කේන්ද්‍රීයව පැවති මලල ක්‍රීඩා ආධිපත්‍යය සුණු විසුණු කළ පාසල ලෙස ඉතිහාසයේ හැම දිනකම කීර්තියට පත්වන බව නිසැක ය.
ඒත් කාලයත් සමග වලලින් පාඩම් උගත් පාසල් සිය පූර්ණ ශක්තිය යොදවමින් මලල ක්‍රීඩා කිරුළට අභියෝග කරන තත්ත්වය තුළ වලල ට පෝෂණයෙන් ඇති අඩු ලුහුඩු කම් සහ වෙනත් භෞතික වශයෙන් ඇති අඩු ලුහුඩුකම් සමග අභියෝගයට මුහුණ දීම පහසු වූයේ නැත.ඒ නිසාම යම් යම් වශයෙන් පසුගිය වසර කිහිපය තුළම වලලට අභියෝග එල්ල වන අයුරු දකින්නට ලැබිණ.මෙවර සිදු වූයේ ඒ අභියෝගයේ උච්චතම අවස්ථාවේ දී වලල කිරීටය පුපුරා බිද වැටීමය.
ඒ සදහා පාදක වූ කාරණා කිහිපයකි.ඒ තමන්ට ඇති අභියෝගයට මුහුණ දීමට ලැබෙන අවස්ථා ප්‍රයොජනයට ගනු වෙනුවට ඔවුන් හිගන්නාගේ විලාසිතාව දිගින් දිගටම අනුගමනය කිරීමය.හිගන්නාගේ විලාසිතාව තුවාලය ය.එය ඕජස් පෙරෙන තරමට විකිණීම පහසුය.වලල ද නිරන්තරයෙන් සිය ක්‍රීඩා පිටියේ ඇති අඩුපාඩු කම් කියමින් පෝෂණ ගැටළු කියමින් ඉතා දුෂ්කරතා මත ජය ගැනීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වන පහන් සංවේගයෙන් වැජඹීම හැරෙන්නට සහ ඒ සදහා සියළු විසදුම් රජයෙන් අපේක්ෂා කළා හැරෙන්නට වෙනත් විකල්ප කරා නොගියේ ය.
මා ලක්බිම පුවත්පතට සම්බන්ධව සිටිය දී මේ ශෝකාලාපය එහි පත් ඉරු මත එළ ලූ සැනින් එවකට ලක්බිම ක්‍රීඩා කතුවරයා වූ රන්ජන් පරණවිතානට ලංකාවේ ප්‍රධානතම ව්‍යාපාරිකයෙක් කතාකොට තමා එම විද්‍යාලයට අනුග්‍රහය ලබා දීමට සූදානම් බව පවසා තිබිණ.අනතුරුව රන්ජන් පරණවිතාන සහ මා වලල රත්නායකයෙන් ඒ සදහා අවශ්‍යය වන ආධාර උපකාර කවරේද යන්න පිළිබදව විධිමත් සටහනක් ඉල්ලා මාස ගණනක් ඇවිටිලි කළ අතර එම ව්‍යාපාරිකයා ද අපෙන් එම තොරතුරු ලබා දෙන ලෙස මාස ගණනක් කරදර කළේය.නමුත් එම වගකීම පැහැර හැරීම සහ ප්‍රමාද කිරීම පිළිබදව එවකට සිටි විද්‍යාලයේ වගකිව යුතු පිරිස් එකිනෙකාට ඇගිල්ල දිගු කිරීම හැර අදාළ ලියවිල්ල සකස් කරන්නට උත්සාහ නොකළේය.
එසේ වූවා නම් මේ පරාජය වළකා ගන්නට තිබුනේ යැයි කියා ජයග්‍රාහී පාසල් වල ජයග්‍රහණය අවතක්සේරු කිරීම මගේ වෑයම නොවන නමුත් මේ පරාජයේ පිටුපස තිබෙන දැවැන්තම කාරණය ඌන භෞතික තත්ත්වයන් බව පිළිගත යුතුය.නිරන්තරයෙන්ම කියන්නට ඇති පෝෂණීය ගැටළු ක්‍රීඩා පිටියේ තත්ත්වය ආදී කරුණු මෑත කාලයේ ද එහි ප්‍රධාන පුහුණකරු විසින් මාධ්‍යයට පවසා තිබුණු බැවින් කාරණය එයම බව විවාදයකින් තොරව පිළගත යුතු අතර එය එසේනම් එම තත්ත්වයෙන් මිදෙන්නට ලැබුණු අවස්ථාවට පයින් ගැසීම පිලිබදව ඔවුන් තමන්ටම තළා ගත යුතුය.
පාසල් පුහුණුකරුවා ගේ ඉලක්කය
පාසල් ක්‍රීඩා උළෙලේ ඉලක්කය විය යුත්තේ ජාතික තලයට දක්ෂයන් උත්පාදනය කිරීමය.මේ ක්‍රීඩා උළෙල එහි තිඹිරිගෙය විය යුතුය.එය ප්‍රතිපත්තිමය වශයෙන් එදා සිටම පිළිගත්තද ඊට ප්‍රායෝගික මුහුණවරක් එක් කිරීමට අවශ්‍යය වට පිටාව තැනී නැත.ඊට එරෙහිව කුමනාකාරයෙන් තර්ක කළත් වත්මන් ක්‍රීඩා කේෂ්ත්‍රයේ කඩා වැටීමක් තිබෙන බව ක්‍රීඩා පරිපාලනයේ ඉහළින්ම පිළිගන්නා තත්ත්වය තුළ පාසල් පිටියේ කඩා වැටීමක් තිබෙන බව පිළි ගත යුතුය.ඒ තත්ත්වය පාසල් ක්‍රීඩා බලධාරීන් පිළි ගත යුතුය.ඒ නිසා පාසල් ක්‍රීඩා සූරයන් ඇගයීමට පිරිනමන කුසලාන ජය සංඛේත තරමටම පුහුණුකරුවන් ක්‍රීඩක දක්ෂතා ඇගයීමට යම් ප්‍රමිතියක් සකස් කිරීම වැදගත්ය.සූරයන් කුසලානය රැගෙන යද්දී ලංකාවේ ක්‍රීඩා ඉදිරියට ගෙන යන්නට හැකි පිරිසක් මෙම ක්‍රීඩා උළෙලෙන් සොයා ගැනීමට ක්‍රමවේදයක් සැකසීම ද වැදගත් ය.
උදාහරණයකට මලල ක්‍රීඩාව ගතහොත් එහි දී ජගත් මලල ක්‍රීඩා ලකුණු සටහනේ ලකුණු 1000 ක් ඉක්මවන ක්‍රීඩකයින් කවුද යන්න නිර්ණය කර ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරන පුහුණුකරුවන් සහ පුහුණුකාරියන් ට විශේෂ වරප්‍රසාද හිමිවන ආකාරයේ වැඩ පිළිවෙලක් තනන්නේ නම් සූරතා කුසලානය දිනා ගෙන යෑම දෙවැනි තැන තබා රටට ආලෝකයක් ලබා දිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය කිරීම පිළිබදව පාසල් පුහුණුකරුවන් ගේ අවධානය යොමු වනු නිසැකය.එවිට සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සමස්ත ලංකාවේ ක්‍රීඩාවටම සේවයක් කරන ක්‍රීඩා උළෙලක් වනවාට සැක නැත.
